Saturday, September 6, 2014

සල්ලි ගෙවා මරණය වෙන් කරගන්නා යුරෝපීය දිවිය- Hisham Hussain

// සල්ලි ගෙවා මරණය වෙන් කරගන්නා යුරෝපීය දිවිය \\ දෙමළෙන්: Rashoolsha Mohamed Sharoofi, France මගේ ගෙදරත් දුම්රියපලත් අතර බස් නැවතුම් හතරක් තියෙනවා. එයින් දෙවැනි නැවතුම ළඟ මිනී පෙට්ටි ව්‍යාපාර ස්ථානයක් තියෙනවා. එතැන එල්වලා තිබුන දැන්වීමක් දවස් දෙකකට කලියෙන් දැක්කා. ඒක ලියැවිලා තිබුනේ ප්‍රංශ බාසාවෙන්. සිංහලෙන් කියනවානම්, ‘මාසෙකට යූරෝ 17 ශත 25 ක් ගෙවා මරණයෙන් පසු ඔබගේ අවසන් ගෞරවය සහතික කරගන්න”. යුරෝපානු දිවිපෙවෙතේ ගැටළුකාරි තත්වය තනි වැකියකින් හඟවන අපූරු වාක්‍යයක් ඒක. ‘මැරුණාට පස්සේ කුණුවෙලා යන ශරීරය ති‍යාගෙන කව්රුත් හැඩ බලනවාද? එක්කෝ වලදාවි, නැතිනම් පුච්චාවි” කියලයි මං ඊට කලින් හිතාගෙන හුන්නේ. ඒත් ඒකටත් රුපියල් දාස් ගණන් ඕනෙලු. ඒ විතරක් නෙවෙයි, සුළඟ අල්ලගන්න වගේ දුවන වැඩ රාජකාරියම ඉරණම කියා හැල්මේ දුවන දිවිපෙවෙත, නෑදෑකම් ගැටළුවක් කරගෙන ආදරය, ස්නේහය වැනි උසස් මිනිස් ගුණධර්ම පස්සට තල්ලුකරල ‘ව්‍යාපාරය : මුදල්’ කියන සීමාවන් දෙක තුල මිනිස් ජීවිතය සිරකර තියෙන්නේ යුරෝපයේ විතරක් නෙවි ලංකාව, ඉන්දියාව වැනි රටවලත් මේකයි තත්වය. තම රට වෙනුවෙන්, තම පවුල් වෙනුවෙන් නිවනක් නැතිව දුවන අය හැමදාම දකිනවා. ඔවුන් මහළුවියට පත්වෙලා වාරු නැතිවෙනකොට ඔවුන් ළඟ හැම පහසුකමක්ම තියේවි. මාසේ අන්තිමට විශ්‍රාම වැටුපකුත් බරටම ඇවිත් අතටම ලැබේවි. ගෙදර වැඩපල කරල දෙන්න සේවකයිනුත් සිටීවි. ඒත්, හිතට ලංවෙලා කතාබහ කරන්න, සුවදුක් විමසන්න දුක සැප බෙදාගන්න එක නෑකමක්වත් අසලක නොහිඳීවි. ඔවුනුත් තමන්ගේ කොටසට රස්සාව කියන සුළිසුළඟට අහුවෙලා විසිවෙමින් සිටීවි. මානසික සංකීර්ණතාවය වැඩිවෙලා, සතුට තුරන්වෙලා, බැරිකම වෙලාගන්න කොට ‘වැඩිහිටි නිවස’ යු‍රෝපානු වැඩිහිටි පුරවැසියන්ගේ නවාතුම්පලක් වෙලා. ළඟදී දවසක වැඩිහිටි නිවසක සේවය කරන මිතුරෙකු කීවා. හිටපු හමුදා නිලධාරියෙක් රෑ දාවල් නොබලා, පුච්චන අව්වත් මිදුනු හිමත් නොතකා දේශ සීමාවේ සේවය කළ තැනැත්තෙක්. තම ජීවිතෙන් වැඩි කොටසක් රට වෙනුවෙන් පරිත්‍යාග කළ රණවි‍රුවෙක්. ඔහු අභාවප්‍රාප්ත වුනා. අභාවප්‍රාප්ත වී දින ගණනාවකට පසුවයි ඔහුගේ භාරකරු වූ පුතා පිටරටක සිට පැමිණියේ. වැඩිහිටි නිවෙස්වල පවා මරණ දැන්වීම බිරිඳට ලැබේවිද, පුතා දැනගනීද, දුවගේ අතට ලැ‍බේවිද, නියමිත වෙලාවට සිදුවිය යුතු වතාවත් ඉටුවේවිද කියන සැකය ආතතිය අඩුකරන්න හැම දෙයක්ම පෙර සූදානමින් සැලසුම් කරන යුරෝපයේ මිනිසුන් මෙයත් සැලසුම් කිරීමට හුරුවෙන්න ඇති. එහි ප්‍රතිඵලේ තමා ‘උඹේ මලසිරුර උඹම වලදාගනින්’ කියන්නා වාගේ ඒ අවවාදාත්මක ප්‍රචාරක දැන්වීම. ඒක දැක්ක වෙලේ සිට ‍කොහේදෝ කියවපු වැකියක් මතකයේ දෝංකාර දෙනවා, “රස්සාවම ඉරණම කියා හිතාගෙන ඉන්න අය, තම උත්සාහවන්තකමේ පලය රස විඳින්නේ නැහැ”. ගෝලීයකරණයයි, ස්වතන්‍ත්‍රකරණයයි අපට දුන්න තෑග්ග - රස්සාවත් විවේකයත් අතර සමබරතාවය සිඳීම. සිංහලෙන්: Hisham Hussain, Puttalam ස්තුතිය: frcmc.blogspot.fr

No comments:

Post a Comment